ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ ද්විතීයික රාජධානි ඇතුළත් අනුරාධපුර සහ
පොළොන්නරුව පරිපාලන දිස්‌ත්‍රික්‌ක දෙකෙන් සමන්විත වර්තමානයේදී උතුරු මැද පළාත ලෙස
හඳුන්වන රජරට, වැව්බැඳි රාජධානිය සහ
නුවරකලාවිය ලෙස විරුදාවලි සහ අභිධානයට බඳුන්ව ඇත. ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස මුළු ලොවම
මවිත කළ අසමසම සහ අද්විතීය බෞද්ධ ශිෂ්ඨාචාරයක විශ්මිත නිමවුම් ලොවට දායාද කළ
ඓතිහාසික ගමනක ප්‍රභවය සහ ඉදිරියට විකාශනය සටහන් කරන්නේ විජයාවතරණය, මහින්දාගමනය, දුමින්දාගමනය
සහ දන්තධාතුන් වහන්සේ ඇතුළු ධාතුන් වහන්සේලා මෙරටට හිමිවීමේ ආශිර්වාදය හා ශක්‌තිය
නිසාය. වාස්‌තු විද්‍යාව, සාහිත්‍ය
කලා භාෂා ශාස්‌ත්‍ර සහ ලේඛන කලාව, වාරි තාක්‌ෂණය
හා ජල ශිෂ්ටාචාරය, මූර්ති, ප්‍රතිමා, කැටයම්, වතාවත්, පුද
සිරිත් සහ චර්යාවන්, දැහැමි
ජීවනෝපාය වැනි වාස්‌ථවික ප්‍රපංචයන් රැසකින් සමන්විත වූ බෞද්ධ සංස්‌කෘතියක් සහ ඒ
මත නිර්මාණය වූ බෞද්ධ ශිෂ්ටාචාරයක් අපට දායාද වූයේ මේ නිසාය. ශ්‍රී ලංකාවට උරුම
වූ අති විශේෂ දායාදයන් පිළිබඳ ඓතිහාසික උරුමය හිමි වන්නේ වැව්බැඳි රජරටටය. මේ අනුව
ශ්‍රී ලංකාවේ එතෙක් ප්‍රාථමික ස්‌වරූපයෙන් පැවති සිංහල රාජ්‍යත්වය හා සමාජ සංස්‌කෘතිකමය
විඤ්ඤානය ඇතුළු ශ්‍රි ලාංකීය සමස්‌ථ භෞතික සහ ආධ්‍යාත්මික ස්‌වරූපය ප්‍රශස්‌ත මට්‌ටමකට
පරිවර්තනය විය. එනම්, මෙරට
පැවති චූල සම්ප්‍රදායික ගතික ස්‌වරූපයන් මහා සම්ප්‍රදාය බවට පත්වේ. මෙම ලිපියෙන්
අදහස් කරන්නේ වැව් බැඳි රජරටින් සිරිලකට හිමිකරදුන් දළදාවහන්සේගේ පූජනීය උරුමය සහ
පෙරහැර සම්ප්‍රදායේ හිමිකම පිළිබඳ ඓතිහාසිකව විමසා බැලීමකි.
එම පණිවිඩය ඇතකු පිට ගමන් කරන දූතයෙකු මගින් සිදුකර ඇත. දූතයා විසින්
පහත සඳහන් ප්‍රකාශය නිකුත් කර ඇත. "අද දින සිට දින දහයකින් බුදුරජාණන්
වහන්සේගේ දන්තධාතුන් වහන්සේ පිටතට ගෙන අභයගිරියේ ඇති විහාරස්‌ථානයට වැඩමකරනු ලැබේ.
පිංකැමති සියල්ලෝම මාර්ගය සකස් කිරීමට උදව් කිරීමෙන්ද වීථි සැරසීමෙන්ද පූජාකිරීමට
මල් පහන් රැස්‌කර ගැනීමෙන්ද පිං රැස්‌කර ගනිත්වා" විජය කුමරු මෙරට ආර්ය
ජනාවාසයක් ඇති කළ අතර මිහිඳු හිමියන්ගේ වැඩමකිරීමත් ජය ශ්‍රී මහා බෝධිය සහ දළදා
වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු මෙරට ධර්මද්වීපයක් සහ එහි පාලකයා දසරාජධර්මයෙන්
යුතු ධර්මිෂ්ඨ රජෙකු බවට පත්විය. දළදා හිමිගේ අයිතිය සෘජුවම රාජත්වයට ප්‍රමුඛතම
සුදුසුකම විය. පාලකයා ධර්මිෂ්ඨ කෙනෙකු යෑයි පිළිගැනීමට ප්‍රබලතම සාධකය වූයේ දළදා
වහන්සේගේ භාරකාරත්වය හිමිවීමයි. 1815 මාර්තු 2 දින උඩරට ගිවිසුමේ පස්‌වන වගන්තියට අනුව බුද්ධාගම ආරක්‌ෂාකර පෝෂණය
කිරීමට පොරොන්දු වී ගිවිසුම්ගතව ඇත්තේ ද මේ දළදා හිමියන් සතු මහා තේජානුභාවය
නිසාය.
වර්තමානයේදී දළදාවහන්සේ
වෙනුවෙන් මහනුවරදී පැවැත්වෙන සිරි දළදා පූජෝපහාර පෙරහැර අද පවත්නා ගුණාත්මක තත්වයකට
ප්‍රශස්‌ත අයුරින් සංවර්ධනය වන්නේ දීර්ඝකාලීන ඓතිහාසික විකාශනයක ප්‍රතිඵලයක්
වශයෙනි. දාඨාවංශයට අනුව දළදාවහන්සේ දැක්‌වූ ප්‍රාතිහාර්යයක් අනුව පණ්‌ඩු රජු
දළදාවහන්සේ හිස මත තබාගෙන පෙරහැර පැවැත්වූ බව අනාවරණය වේ. ඓතිහාසික වංශකතා අනුව ශ්‍රී
ලංකාවේ පෙරහැර ඉතිහාසය දෙවනපෑතිස් රජු දක්‌වාම අතීතයට දිවෙන බව පෙනේ. සංඝමිත්තා
මහ රහතන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධිය රැගෙන ලංකාවට වැඩි අවස්‌ථාවේ රාජ්‍ය අනුග්‍රහය
යටතේ මහ පෙරහැරකින් අනුරාධපුර පූජා නගරයට වැඩම කරවූ බවත් මිහිඳු හිමියන් වහන්සේගේ
පිළිරුවක් රනින් නිම කර පෙරහැරකින් වැඩම කර වූ බවත් සදහන්ව ඇත. මෙම මිහිඳු
පෙරහැරේම දළදා වහන්සේද වැඩම කරවන්නට ඇතැයිද අනුමාන කළ හැකිය. දළදා මැදුරේ සිට
අභයගිරියට වාර්ෂිකව මෙම දළදා වහන්සේ පෙරහැරකින් වැඩමවා පුද පූජා සත්කාර සම්මාන
පවත්වා ඇත. මේ පිළිබඳ ප්‍රාමාණික තොරතුරු පාහියන් හිමියන් තම වාර්තාවේ පෙන්වා දී
ඇත. එම තොරතුරුවලට අනුව වෙසක් පුර පසලොස්‌වක පසුවූ ඇසළ දෙපෝයදා මෙම පෙරහැර පවත්වා
ඇති බව අනාවරණය වේ. එය ඉතා උත්කර්ෂවත් ලෙස පවත්වා ඇත. ක්‍රි.ව. 4 පමණ කිත්සිරිමෙවන් රජදවස
සිට ක්‍රි.ව. 982 දක්‌වාම එනම් හතරවන මිහිඳු රජුගේ
පුත් පස්‌වන මිහිඳු රජු සමය දක්‌වාම මෙම පෙරහැර දීර්ඝ කාලයක් අඛණ්‌ඩව වාර්ෂිකව
පවත්වා ඇත. දළදා වහන්සේගේ අයිතිය සහ උරුමය ඉතා ප්‍රශස්‌ත මට්‌ටමින් ආරක්‌ෂා කිරීමට
අනුරාධපුර යුගය පුරාම කටයුතු කර ඇත. පස්‌වැනි මිහිඳු රජුගේ කාලයේදී සිදුවූ චෝල ආක්‍රමණයෙන්
පසු දළදා වහන්සේ පොළොන්නරුව හරහා නිරිත දිග ප්‍රදේශයට රැගෙන ගොස් ඇත.
දළදා පෙරහැරේ ඉතිහාසය දෙස
බැලීමේදී ගජබා රජු විසින් සොළි රටින් දොළොස් දහසක් මෙරටට ගෙන ආ සිද්ධියද සමඟ
කිසියම් සම්බන්ධයක් ඇත. එම සිද්ධිය මුල්කොට ගෙන උත්කර්ෂවත් ඇසළ පෙරහැරක් ගජබා
රජු විසින් ද පවත්වා ඇත. වර්තමානයේදී දළදා පෙරහැරෙහි දිය කැපීම යන චාරිත්‍රය සහ
නීල මහා යෝධයා විසින් ගජබා රජුගේ සොළී රට ආක්‍රමණය කරන අවස්‌ථාවේදී මුහුද දෙපලු
කරන අයුරින් කරන ලද යගධා පහරදීම සමඟ කිසියම් සංකේතාත්මක සම්බන්ධයක් ඇති බව පෙනේ.
අනුරාධපුරයේ මේඝගිරි (ඉසුරුමුණිය) විහාරස්‌ථානයේ සිට සුදු අසුන් යෙදූ විශේෂ
රථයකින් දළදා වහන්සේ අනුරාධපුරයට වැඩම කර ඇති අතර මහාවිහාරයේ දළදා මන්දිරයේ සිට
මහා පෙරහැරකින් අභයගිරි විහාරයටද වැඩමවා ඇත. මෙහිදී විශේෂත්වය වන්නේ මහා විහාරය සහ
අභයගිරිය අතර කිසිදු භේදයකින් තොරව දළදා වහන්සේට කළ යුතු උපහාර හා වතාවත් ඉතා භක්‌තිමත්ව
සිදුකිරීමයි. මෙහිදී ද එතෙක් පැවති ඇසළ පෙරහැර දළදා පෙරහැර බවට පරිවර්තනය විය.
දළදා හිමියන් දැනට වැඩ සිටින දළදා මැඳුර ඉදිකරන ලද්දේ පළමු වැනි විමලධර්මසූරිය රජු
විසිනි. රටේ රජතුමාද දළදා පෙරහැරේ ගමන් කර ඇත. ඔහු දළදා පෙරහැරේ ප්‍රධාන භූමිකාවයි.
No comments:
Post a Comment