විජය කුමාරයා සමඟ පැමිණි උපතිස්ස නම් අමාත්‍යවරයා මල්වතු ඔය සහ මහා කනදරා ඔය හමුවන ස්ථානය මුල්කරගෙන ඇති කළ උපතිස්ස ග‍්‍රාමය අද හඳුන්වන්නේ තන්තිරිමලය වශයෙනි. තවද දේවානම්පියතිස්ස රජ සමයේදී තිවක්ඛ නම් බමුණෙක් මෙම ප‍්‍රදේශය පාලනය කළ නිසා තන්තිරිමලේ එකල හැඳින්වූයේ තිවක්ඛ බමුණුගම නමිනි.
රිටිගල කන්දෙන් ආරම්භ වන මල්වතු ඔයත් මහා කනදරා ඔයත් උතුරු දිසාවට ගලාවිත් ක‍්‍රමයෙන් වයඹ දෙසට හැරිම නිසා නිර්මාණය වී ඇති තැනිතලාවේ පිහිටා ඇති මේ ඓතිහාසික පින්බිම උතුරින් සහ නැගෙනහිරින් මල්වතු ඔය ද බටහිරින් විල්පත්තු ජාතික වනෝද්‍යානයද දකුණින් මහවිලච්චිය ප‍්‍රධාන මාර්ගයද මායිම් කොට පිහිටා ඇත. මෙරට පැරණිතම ගම්මානයන්ගෙන් එකක් වන මෙහි මහින්දාගමනයට පෙර සිටම ජනාවාස තිබූ බවට සාක්ෂි ඇත. පසුකාලීනව අනුරාධපුර රාජධානියෙන් පෝෂණය වූ මෙම ප‍්‍රදේශය ආගමික, වාරි කර්මාන්ත, කැටයම්, වාස්තු විද්‍යාත්මක ශිලාලේඛන, සිතුවම් ආදියෙන් පරිපූර්ණ විය. ජනප‍්‍රවාද වලට අනුව තන්තිරිමලේ සිට වයඔ දිග මුහුදු වෙරළ දක්වා එකලද සශී‍්‍රක ජනාවාස පැවති බව පැවසේ. නමුත් අනුරාධපුර රාජධානිය කඩාවැටීමත් සමඟ තන්තිරිමලයද සිය විනාශයට මුහුණ දුනි. දීර්ඝ කාලයක් වනයේ තනිව තිබූ මෙම පුණ්‍ය භූමිය 1960 වර්ෂයේදී යළි ජනාවාස වන්නට පටන් ගැනුණි.
දුටුගැමුණු රජ සමයේදී
සාලිය හා අශෝකමාලා ආදර යුවළද මෙම ප‍්‍රදේශයේ වාසයකර ඇත. ඔවුන්ගේ අසම්මත විවාහය
නිසා පිටුවහල් කරන ලදුව සාලිය අශෝකමාලා යුවල තන්තිරිමලේ සිටියදී දුටුගැමුණු රජතුමා
සමාවදුන් බව සඳහන්ය. එහිදී තන්තිරි යන විශේෂිත හැඩයේ රන් මාලයක් පරිත්‍යාග කළ බවත්
එම මාලය නිධන්කොට චෛත්‍යයක් කරවූ බවත් එම නිසා තන්තිරිමාලය වූ බව ජනවහරේ සඳහන් වේ.
අද තන්තිරිමලය නරඹන්නට
හෝ වන්දනාමාන කරන්නට පැමිණෙනවුන්ට එහිදී බෝධීන් වහන්සේට දකුණු පසින් සමාධි
පිළිමවහන්සේ ද බෝධීන් වහන්සේට උතුරු දෙසින් අති අඩි 45ක් පමණ දිග
සැතැපෙන පිළිම වහන්සේ ද දැකගත හැක. පොලොන්නරුවේ ගල් විහාරයේ සැතැපෙන පිළිම වහන්සේට
සමාන ලක්ෂණ මෙහි ඇත. ගල් තලාවෙහි නැගෙනහිර දිසාවේ චතුරශ‍්‍රාකාර ස්මාරකය පොත්ගුල
ලෙස හදුනාගෙන ඇති අතර භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිටි ප‍්‍රධාන ඝර නම් වූ
විශාල ගොඩනැඟිල්ලක නටබුන් ගල්ලෙනට ඉදිරියෙන් ඇත. අක්කර 250 ක් පමණ වන
මෙම ගල්තලාවෙහි මෙවැනි ගොඩනැගිලි 12ක නටබුන් සොයාගෙන ඇති අතර එවායේ භික්ෂූන්
වහන්සේලා භාවනායෝගීව හා නේවාසික විසූ බවට විශ්වාස කෙරේ. උන්වහන්සේලාගේ භාවිතය
පිණිස ජලය රැස් කිරීමට ගල්තලාවෙහි තැන් තැන් වල අලංකාර ලෙස තැනූ පොකණු සාදා තිබී
ඇත. මෙම පොකුණු විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරී පවතී. නෙළුම් මල් වලින් සැරැසුණු
එවැනි පොකුණු අද ද දක්නට ඇත.
No comments:
Post a Comment