අනුරාධපුර
පූජා නගර සැලැස්‌ම සකස් කළ සමහර නිලධාරින් වාස්‌තු විද්‍යාඥයන් වීම නිසාදෝ අපේ
පැරණි මූලාශ්‍රයන් හරි හැටි සමීක්‍ෂණය නොකොට අනුරාධපුර පැරණි පංච මහා අවාස හා
අනෙකුත් විහාරස්‌ථානවල ඉතිහාසය උඩුයටිකුරු කර කටයුතු කරන අතරම අනුරාධපුරය බෞද්ධ
මධ්‍යස්‌ථානයක් ලෙස නොව වාණිජමය සංස්‌කෘතික පුරවරයක් බවට පත් කරමින් ඉහත කී
අදහස්‌වලදී සිය අමාත්‍යාංශ භාර මැති ඇමැතිවරුන්ද රජයද නොමග යවා ඇති බව සිතිය හැකිය.
පළමුවෙන්ම පුරාතන අටමස්‌ථාන කුමක්ද? මහා විහාරය, අභයගිරිය, ඡේතවනය, දක්ඛිණ
විහාරය ආදී වෙන වෙනම වූ නිකායන් යටතේ එකිනෙකට සම්බන්ධ නැති
විහාරාරාම හා ඇතුළු නුවර පැවති භික්‍ෂුණි ආරාම පමණක් නොව පුරාණයේ මෙහි භික්‌ෂු
නිකායන්ට තිබූ නිදහස හා එකල මෙම නිකායන් සියල්ලෙහි අනුරාධපුරයේ සිටි භික්‌ෂුන්
සංඛ්‍යාවද සැලකිල්ලට ගත යුතුව ඇතත් අද මේ සියල්ල යටපත් කරමින් ඒක පාර්ශ්වීයව මෙම
නිලධාරින් කටයුතු කරන්නේ දැන හෝ නොදැන බුද්ධ ශාසනයට මහත් සතුරුකමකි. විශේෂයෙන්
පුරාණ පොත පත සියල්ලෙහි කියෑවෙන අනුරාධපුර පිං බිමෙහි වැඩ සිටි සුපේශල ශික්‍ෂාකාමී
විනය ගරුක බහුශ්‍රැත ප්‍රතිබල පර්යාප්තිය හා ප්‍රතිපත්තිය රකින අධිශීල
සම්පත්තියෙන් යුත් භික්‌ෂුන් ගැන කෙරෙන විස්‌තර මෙම නිලධාරීන් මෙන්ම රජයද බෞද්ධ
ජනතාව ද නැවත නැවත සිහිපත් කරමින් මෙය පිං බිමක් කිරීමට කටයුතු කරන්නේ නම්
වැදගත්ය. එසේ නැතිව සිත් තුළ ඇති වාණිජ සංකල්පය අතහැර ගත යුතුය.
ශාසනය නම් පැවිදි භික්‌ෂුන්ය. වර්තමාන අටමස්‌ථානය හා ඒ ආශ්‍රිත
පන්සල් පමණක් අනුරාධපුර පූජා නගරයෙහි ඉතිරි කොට අනෙකුත් වෙහෙර විහාරස්‌ථාන පූජා
නගරයෙන් ඉවත් කරන්නේ නම් ඔහු හෝ ඇය නියම බෞද්ධයෙක්‌ද යන්න සැක සහිතය. බුද්ධස්‌තූප
තිබූ පමණින් ශාසනය රැකෙන්නේ නැත. මහා සංඝරත්නය වැඩ වාසය කිරීම හේතුවෙන්ම ශාසනය
පවතී. අනුරාධපුර පූජා නගරයේ අටමස්‌ථානයන්ට අමතරව ඉදි වී ඇති සියලු විහාරස්‌ථාන
අතුගා දමා මෙය සංචාරක පුරවරයක් බවට පත් කිරීමට කෙටුම්පත් සකස් කළ පුද්ගලයන් තුළ
ලඡ්ජා බයක් තිබේද? කොතෙකුත්
පන්සල් තිබුණද භික්‌ෂු සංඝයා සිටියද එයින් සම්බුද්ධ ශාසනයට වන අලාභය කුමක්ද? හරි
නම් කළ යුතුව ඇත්තේ තිබෙන විහාරස්‌ථාන දියුණු කිරීම හා අලුතින් කුල දරුවන් සසුන්ගත
කොට සම්බුද්ධ ශාසනයේ කේන්ද්‍රස්‌ථානය අනුරාධපුරය කිරීම නොවේද? නන්
දෙසින් පැමිණෙන ලක්‌ෂ සංඛ්‍යාත ජනතාවකගේ විවිධ වූ ආගමික අවශ්‍යතා සපුරාලන විහාරස්‌ථාන
කඩා ඉවත් කොට එහි වෙසෙන මහා සංඝයා පන්නා දැමීමට කටයුතු කරන්නන් පිළිබඳ සියලු
බෞද්ධයන් තුළ ඇත්තේ පිළිකුලකි. කිහිප දෙනකුගේ පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා
ගැනීමට කටයුතු කරන නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් සම්බුද්ධ ශාසනයට වන
අලාභය පියවන්නේ කවුරුන්ද? මෙම පූජා නගරය සංචාරක පුරවරයක් කිරීම තුළින් බෞද්ධ අයිතිවාසිකම්
උල්ලංඝනය වීම බෞද්ධ උරුමයන් සුරැකීමක්ද? වාණිජමය සංකල්පයන් මුසු කොට සිදු කරන මෙම අධම ක්‍රියාව සමස්‌ත
ලෝකවාසී බෞද්ධ ජනතාවම හෙළා දකින්නේය. එවැනි වූ ජනතාවක් කුපිත කරවීම එතරම් නුවණක්‌කාර
ක්‍රියාවක් නොවන්නේය.
කෙසේ
වෙතත් රජරට ශිෂ්ටාචාරය පැවති සමයේ මහාවිහාරය, අභයගිරිය, ඡේතවනය, මිරිසවැටිය, දක්ඛිණ විහාරය ආදී වශයෙන් එකිනෙකට සම්බන්ධ නැති වෙන වෙනම පාලනය වූ
විහාර තිබුණා පමණක් නොව අභයගිරිය හා මහාවිහාරය එකිනෙකට විරුද්ධව කටයුතු කළ
නිකායන් බවද සඳහන් වේ. දීපවංශය මහාවංශය, වසත්ප්පකාසිනි ඇතුළු සියලු ග්‍රන්ථ දක්‌වා ඇත්තේ අටමස්‌ථානය යනු
තිස්‌සාරාමය ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, දාන ශාලාව, ජන්තාගාර පොකුණ, රුවන්වැලිසෑය, ලහබත්ගෙය හා කම්මමාලකය බව අටමස්‌ථානය පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කළ
මහාචාර්ය උක්‌කුබණ්‌ඩා කරුණානන්ද මහතා දක්‌වා ඇත. රජරට ශිෂ්ටාචාරය විනාශ වීමත්
සමගම මෙම අටමස්‌ථානය ඇතුළු අනෙකුත් සියලු වෙහෙර විහාර වනවැදී ගියේය.
රට පාලනය කරන ඇත්තන්ගේ අවබෝධයෙන් තොරව සමහර පිරිසක් මුළු
අනුරාධපුරයම එක් පාර්ශ්වයක් සඳහා වෙන්කරවා ගැනීමට පිඹුරුපත් අදිමින් සිටී. එයින්
බුද්ධ ශාසනයට වන හානිය ඔවුන් මොහොතකටවත් සිතන්නේ නැත. පුරාණයේ අනුරාධපුර විහාරවල
පාලනය කෙතරම් විනිවිද භාවයකින් යුක්‌තව කරගෙන ගියේද යත් කුට්‌ටම්පොකුණ ළඟින් හමුවූ
කපාරාරාම ශිලා ලිපියේ විහාරයේ සියලුම ආදායම් හා වියදම් ගණන් තබන්නන්ගේ සහායෙන්
ලියා තබා අවුරුද්ද අන්තිමේදී මහා සංඝයා මැද අයවැය වාර්තාව ඉදිරිපත් කළ යුතු යෑයි
දක්‌වා තිබේ.
දිවයින
පුවත්පතෙන් උපුටා ගත්තකි.