විල්පත්තු ජාතික වනෝද්‍යානය පිහිටා ඇත්තේ අනුරාධපුර නගරයට බටහිර දිසාවෙන් කි. මී. 30 පමණ දුරින් වන අතර මෙහි සීමාව උතුරු මැද සහ උතුරු නැගෙනහිර පළාත් අතර පිහිටා ඇත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 152 උසින් පිහිටා ඇත. විල්පත්තු යන නමෙහි තේරුම ගත් විට එය ”විල් සහිත බිමක්” ලෙස දැක්විය හැක. භූගෝලීය ලෙස ගත්විට මෙය වර්ග සැතපුම් 425 ප්‍රමාණයක පැතිරී ඇති අතර මෙම ප්‍රදේශයේ ඇති විශාලතම වනෝද්‍යානය ලෙසද සැලකිය හැක. මෙය අක්කර වලින් ගත්විට 131, 693 පමණ විහිදී ඇත අතර 1905 සිට සිට අභය භූමියක් ලෙස නම් කරන ලදි. මෙහි දේශගුණය ගැන බලන විට එය තරමක් ඝන වියළි කලාපීය කලාපයක් වේ. එමෙන්ම සුදු වැලි සහිත ඉවුරු වලින් යුත් ගලායන විල් මෙම කැලය තුළ පිහිටා ඇත. අතිවිශාල ගණයේ ශාක වර්ග සහ මුවෝ, අලි, ඌරන්, දිවියන්, වලසුන් යන වන සතුන්ගෙන් ද මෙම වනය ගහන වී ඇත. විල්පත්තු කැලය තුළ සිටිනා දිවියන් ගණන තවමත් නිශ්චිතව ගණනය කර නැත. දිවියන්ගේ ගහනය නිසා මෙම වනෝද්‍යානය ලෝකයේ හොඳම ජාතික වනෝද්‍යානය අතරින් එකක් බවට පත්ව ඇත.
දේශගුණය පිළිබඳ ගැන සලකන විට මෙම ප්‍රදේශයේ සාමාන්‍ය උෂ්ණත්වය ආසන්න ලෙස සෙ. අංශක 27.2 පමණ වන අතර වර්ෂාව ආසන්න ලෙස මිලි මීටර් 1000 කට ආසන්න ප්රමාණයක් වේ. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වු කාල සීමාව විල්පත්තු වනයට වැසි ලැබෙන කාලසීමාවන් වේ. අන්තර් මෝසම් වැසි මාර්තු , අප්‍රේල් යන කාල අතර ලැබේ. මැයි සිට සැප්තැම්බර් මුල දක්වා කාලය පුරා නියඟය පැතිර පවතී.
විල්පත්තු වනය විල්ලූ සහ විල් වලින් ගහනව පවති. ආසන්න ලෙස විල් සහ වැව් 60 ක් පමණ මෙහි ඇති බවට සොයාගෙන ඇත. මෙම උද්‍යානයනයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස මෙය සැලකිය හැක. මෙම විල් වැසි ජලයෙන් පිරී ඇති පැතලි බේසම් ආකාරයෙන් යුක්ත වේ. මෙහි බටහිර ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වට වී ඇත්තේ කැලයෙනි. මේවා පළු, මිල්ල, වීර, කළුවර, වේවරණ යන විශාල ගස් වලින් යුක්ත වේ
විජය කුමරුන් ගොඩ බස්නා ලදැයි කියැවෙන තම්බපණ්ණිය හෙවත් කුදිරමලේ තුඩුව විල්පත්තුවේ තවත් එක් ආකර්ෂණීය ස්ථානයකි. කුදිරමලේ තුඩුවේ භූ විෂමතාවය කාගේත් නෙත් සිත් ඇදගනු ඇත්තේ එහි වූ ගල් තලාවේ ස්වභාවයත් මුහුදට මායිම්ව අති අඩි 20ක පමණ දළ බෑවුමත් නිසාය. නොගැඹුරු, සුපැහැදිලි මුහුදේ විවිධාකාර මත්ස්‍ය විශේෂ ගැවසෙන අයුරු දක්නට හැකිය. කෙටි දුරක් උතුරට පාගමනින් ගිය විට විචිත්‍ර වෙරළ තීරයකට ළඟා විය හැකි අතර එහිදී ස්නානයටද අවකාශ හිමි වේ. වන රජදහන තුල අනේකවිධ නටඹුන් දැකිය හැකි අතර ඒ අතරින් කුවේණි මාළිගය ප්‍රමුඛස්ථානයක් ගනී. විශේෂයෙන්ම විජයාගමනය ආශ්‍රීත කාල වකවානුව තුල මෙම ප්‍රදේශය යක්ඛ ගෝත්‍රිකයන්ගේ මර්මස්ථානයක්ව තිබෙන්නට ඇති බව අනුමාන කළ හැකිය. මීට අමතරව ප්‍රාග් ඓතිහාසික වැදගත්කමකින් යුතු පොම්පරිප්පුවද විල්පත්තුව තුලම පිහිටා ඇත.
පිවිසුම් මාර්ගය
වනෝද්‍යානය පිවිසුම පිහිටියේ පුත්තලම අනුරාධපුර ඒ 12 මාරර්ගයේ පුත්තලමේ සිට කි.මි. 30ක් පමණ ගිය තැන නොච්චියාගම නගරයට පෙරාතුව අනුරාධපුරයේ සිට නම් පුත්තලම පාරේ කි.මි.40ක් පමණ ගොස් නොච්චියාගම පසු වූ පසුව විල්පත්තු හන්දියෙන් වමට හැරී කි.මී 7ක් ගිය තැනය.